වෙල් වතුරේ ඔරුවෙන් රවුමක්….
මෙදා සැරේ exam ඉවර වෙනකන් කල් බල බලා හිටියේ කට්ටිය එක්ක සෙට් වෙලා එළ ට්‍රිප් එකක් යන්න. ඒ වුනාට එක එක්කෙනාට, එක එක වෙලාවට, එක එක වැඩ වැටෙන හින්දා වැඩේ පොඩ්ඩක් කල් ගියා. කොහොමෙන් කොහොම හරි ගිය සතියේ කට්ටිය එකතු වෙලා ගියා පොඩි ට්‍රිපක්
ටික දෙනෙක් මේ වැඩෙත් අල කරා ඒ ගොල්ලන්ගේ වැඩ ඉස්සරහට දාලා. කොහොම හරි අපි ටික දෙනෙක් එකතු වෙලා ගියා ගාල්ලට ගමනක්. මේක මේ ගාල්ල කිව්වට ගාල්ලම නෙවේ. ගාල්ලේ ඉදන් යන්න ඕන රට ඇතුලට පැයක්, පැය එකයි කාලක් විතර බස් එකේ. බස් එකත් යන්නේ හැටට හැටේ. ගාල්ලට යන්න ගත්තේ කෝච්චියේ. අප්පෝ පැය 6 විතර යන ගමනක්. කෝච්චියත් එපා වුනා උදේ පන්දර 5.30 ට නැගලා බහිනකොට හවස 1.00 විතර වුනා. ඊට පස්සේ පැයක් විතර බස් එකේ. අපි ගියේ මාපනාගම කියන යාලුවාගේ ගමට. දවසේ ගමන් මහන්සිය හින්දා එදා ඉතින් යාලුවාගේ ගෙදර තමා හිටියේ.
අනික් දවසේ ගියා ඇවිදින්න. ආපහු ගාල්ලට ගිහිල්ලා, ගියා කොග්ගලට. කොග්ගල කිවහම හුගක් අයට මතක් වෙනෙනේ මඩොල් දූව. ඒ වගේම සිංහල භාෂාවේ පතාක යෝධයෙකු වන මාර්ටින් වික්‍රමසිංහ ශූරින්. ඉතින් මඩොල් දූවට ගිහින් ජින්නයි උපාලියි බලල එන්න බැරි වුනා, කාලගුණය අපිට හරස් වුනා හින්දා
ඒ වුනාට වික්‍රමසිංහ ශූරීන් ගේ ජන කෞතුකාගාරය නැරඹීමට අපි ගියා. එතුමා උපන් නිවස, හා එතුමාගේ ජිවන ගමනේ සටහන් අපිට මෙහිදී දැක ගත හැකි වුනා. එසේම අතීතයේ සිංහලයාගේ ජන ජීවිතය හා සැබැදි අපුර්වත දේවල් හා අප සතුව තිබූ තාක්ෂණය පිලිබදව අපුර්වතම උදාහරන මෙහි තිබුනා. ඔයගොල්ලොත් ගාල්ල පැත්තේ එහෙම යනවනම් කොග්ගල යන්න අමතක කරන්න එපා. ගාල්ලේ ඉදන් 10Km විතරයි තියෙන්නෙ. පාරේ අයිනෙම. මඩොල් දූවත් ඒ ළගමයි. යන්න තියෙන්නේ බෝට්ටුවකින්. රුපියල් 650/= විතර ගන්නව යන්න. කට්ටිය ටිකක් සෙට් උනහම ඔය ගාන අවුලක් නෑ. කොග්ගල පතාක යෝධයා ගැන වැඩි විස්තර ඔයගොල්ලන්ට එතුමාගේ මේ වෙබ් ලිපිනයෙන් බලා ගන්න පුලුවන්.
ඊට පස්සේ ඉතින් දන්නවනේ හුග දෙනෙක් යන තැනකට අපි ගියේ. වෙන කොහෙද බීච් එකට. වැඩේ කියන්නේ ඒ දවසේ එක ෆොටෝ එකක්වත් පෝස්ට් එකේ දාන්න විදිහක් නෑ. මගේ අල වැඩක් හින්දා ඒ ෆොටෝස් ටික ඔක්කොම delete වුනා
ඔයගොල්ලෝ කවුරු හරි දන්නවනම් digital camera එකක ෆොටෝ recovr කරගන්න විදිහක් කියන්න. ලොකු උදව්වක්. කොහොම හරි බිචි එකේ නැටුවේ දඹ වැස්සේ
හොදට නාගෙන හවස ගියා යාලුවාගේ ගෙදර. හැබයි වැස්ස එක තමා මේ ගමනේ හොදම දේ. මේ වැස්ස හින්දා තමා අපිට ඔරු පදින්න පුලුවන් වුනේ. අනික් දවසේ නැගිටල එළියට පොඩ්ඩක් බැහල බලද්දි තමා දැක්කේ ගේ පල්ලෙහා තිබුනු වෙල් යායම වතුරෙන් යට වෙලා කියලා.හරියට වැවක් වගේ. ඒ පැත්තේ කට්ටිය නම් කියන්නේ මේ ගංවතුර කියලා. හරියට බැලුවොත් මේ වෙල් වතුර. ගිං ගග අපි හිටිය හරියට ළගින් ගැලුවට වෙල් යාය යට වෙලා තියෙන්නේ වැස්ස හින්දා. වතුර බැහල යන්න විදිහක් නෑ ගගේ වතුර වැඩි නිසා.
එදා යන්තම් වැස්ස නැවතිලා තිබුනේ.ඔන්න ඉතින් උදේ කාල එහෙම ආයුබෝවේවා කියල වැඩේ පටන් ගත්තා
අපි ඉතින් ඔරුවක් අල්ලලා තියනවය. ඇල්ලුවත් නුවර කොහෙ පදින්නද. නුවර වැවේ වත් පදින්න දෙනව කියලය. අපි තියා අපිත් එක්ක ගියපු පොළොන්නරුවේ යාලුවෙකුත් ඔරුවක් පැදලා නෑ. අර අච්චර වැව් තියන පොළොන්නරුවේ ,ඔරුවක් අල්ලලා නෑනේ මේ මනුස්සයා
අපි ගැන ඉතින් කවර කතාද. ඕන්න ඉතින් ඔරුව ගෙදර ඉදන් උස්සගෙන ගියා වෙල අයිනට. දියඹට දියත් කරේ ගාල්ලේ යාලුවා. මේ පැත්තේ හුගක් ගෙවල් වල ඔරු,පාරු තියෙනවා. මොකද හුගක් වැස්සොත් පැත්තම වතුරෙන් යට වෙනවා. ඔරුව වතුරට දාල පොඩ්ඩක් පෙගෙන්න එහෙම ඇරලා යාලුවා ගියා පොඩි ටෙස්ටින් රවුමක්. ගමන අවුලක් නෑ. ඒ වුනාට ඔරුවට වතුර පොඩ්ඩක් ලීක් වෙනවා. පොඩි බාල්දියක් දාගෙන කට්ටියම නැග්ගා ඔරුවට. ඇයි ලීක් වෙන වතුර අයින් කරන්න එපාය.
නැත්නම් ගොඩ ඇවිල්ල හමාරයි.ඕන්න ඉතින් ගමන පටන් ගත්තා. ඔය යන්නේ නියමෙට.ගාල්ලේ යාලුවා තමා කප්පිත්තා. මිනිහගේ නම චතුර. එක හබලක් එයා ගාව. අනික අපි තුන්දෙනා මාරුවෙන් මාරුවට අරගෙන හබල් ගෑවා.
හබල් ගාන එකත් ඉගන ගන්න ඕන දෙයක්. හරවද්දි එහෙම ගානට, ක්‍රමේට ඒක කරන්න ඕන. අපි ඉතින් ඕවට කෝඩුකාරයෝනේ. දන්න විදිහට හබල ගැහුවා. සමහර වෙලාවට ඔරුව එක තැන කැරකෙනවා. ඔය වෙලාවට ඉතින් කප්පිත්තා පොඩ්ඩක් සැර දානවා. මොකද පොරගේ ඒරියා එකනේ. උදේ පැද්දා ටිකක්.ඔය පදින අතරේ ඒ ළග තිබුනු තේ වත්තට තමා මොණරු ඇවිල්ල හිටියේ. ඔය අස්සේ සෙබඩලත් හිටියා. ඔය තියන ෆොටෝ එක ඒ ආපු මොණරෙකුගේ. උන් ඉතින් අපි එනව දැකලද කොහෙදෝ පැනල දිව්වා. ඔන්න උදේ ටර්න් එක ඉවරයි.
ඊට පස්සේ ගම වටේ කරක් ගහන්න පටන් ගත්තා. ඔය යන අතරේ තිබුනා වැල් පාලමක්. අපි ඔය සංගිලි පාලම කියලත් කියනවා. ගියේ ගමේ තව යාලුවෙක් එක්ක. ගිං ගග හරහ තමා මේ පාලම වැටිල තියෙන්නේ. මුලින් ගියේ ගමේ යාලුවා. අපි ඉතින් මේ වගේ පාලම් වල නොගියට ගියාපු පොරවල්ල වගේ මිනිහගේ පස්සෙන් ගියා. කෝකටත් දෙපැත්තේ තියෙන කම්බි අල්ලගෙන තමා ගියේ. පාලම මැදට යද්දි පොඩ්ඩක් ඉතින් අවුල් වගේ.නුපුරුදු තැනකට මුලින්ම යද්දි පොඩ්ඩක් අවුල් වගේනේ. මේන් එකපාරටම මිනිහ පාලම පද්දන්න පටන් ගත්තා. අපි ටික කෑගහගෙන දෙපැත්තේ කම්බි අල්ල ගත්තා. මූට පිස්සුද කොහෙදෝ :X පාලම නිකන් දැන් ඔන්චිල්ලාව වගේ. කට්ටියටම දෙලෝරත්වෙලා තිබුනේ. මොන දෙයියට කියන්නද.ගගට වැටුනොත්, කිඹුල්ලු කාල තමා මැරෙන්න වෙන්නේ. නැත්නම් ගිලිලා. මිනිහා ටිකක් වෙලා ඒ ආතල් එක ඇරගෙන පාලම පද්දන එක නැවත්තුවා. එතකොට තමා ඇගට ලේ ටිකක් ඉනුවේ. ආය එද්දිත් මිනිහා ඔය වැඩේම කරා පිටිපස්සෙන් ඇවිල්ලා. ඒ වුනාට කලින් තරම් බයක් තිබුනේ නෑ.
හවස ආවට පස්සේ ආයෙත් ඔරුවේ රවුමක් යන්න ගියා. ඉර බැහගෙන යන වෙලාවට හරිම ලස්සනයි
ෆොටෝ බලනකොට ඒක තේරෙයි. කලින් ගියාට වඩා සැහෙන දුරක් හවස ගියා. එනකොට ආපු දිහාවෙන් එන්නැතුව පොඩි short cut එකක් දැම්මා. මළ කෙලියයි.මගක් යද්දි මේන් ඒ ටිකේ වතුර බැහලා පාර මතුවෙලා. ආපහු යන්නත් බෑ. එක දෙයයි තිබුනේ. කට්ටියම උස්ස ගත්තා ඔරුව. ටික දුරක් උස්සගෙන ගිහිල්ලා දැම්මා වතුරට. ඊට පස්සේ කෙලින්ම තොටුපලට. අපි එදා ඔරු පදිද්දි වෙල් යායම වතුරෙන් යට වෙලා වැවක් වගේ. අනික් දවසේ වතුර බැහල තිබුනේ. වෙල් යායේ වතුරෙන් වැනසුන ගොයම් ගස් පවා මතුවෙලා තිබුනා. මේ පැත්තේ අය මේ කාලෙට වෙලේ ලොකු වලක් කපනවා. එතකොට වතුරත් සමග මේ වලට වෙල් මාලුන් එකතු වෙනවා. දැලක් එලීමෙන් ඒ මාලුන් අල්ලා ගැනීම සිදු කරනවා. ඒ තමා වෙල් මාලු. වෙල් මාලුත් අනිත් මාලු වගේමයි. උන් වැඩිය ලොකු නෑ. කටු ගොඩාක් තියෙනවා. කටු ගැන කිව්වේ අනිත් දවසේ උදේට කලින් දවසේ පාන්දර විතර අල්ලපු මාලු ,කෑමත් එක්ක තිබුන නිසයි
මේ තමා අපි ගියපු ගමනේ අලුත්ම අත්දැකීම. අපේ තව ගමනක් තිබුනා කන්නෙලිය වන රක්ෂිතයට. ඒ ගැන ඉතින් ඊළග පෝස්ට් එකෙන් කියන්නම්කෝ



















මරේ මරැ
@ Nuwan
ආයෙත් අහල නියම ඔරු පැදිල්ල…
@ Sadun
නැතුව නැතුව…අත්දැකීම් නැතුව වැඩක් තියනවද…
හරි අයියා comment procedure එක පොඩ්ඩක් වෙනස් කරන්නම්…
@ Gayan
මළකෙලියයි…ඕක මොකද්ද පෙරලුනු පිට හොදයි කියලනේ කියන්නේ….
Elane…Maru oru padilla
එල මල්ලී………
වැඩ දහදාහක් තිබුනත් අපේ අත්දැකීම් අපි එලවල ගිහින් හරි අරගන්න ඕන
maxaaaaa….
ඔයාගෙ සයිට් එකේ comment කරන proceedure එක හරිම සන්කීර්නයි
පොඩ්ඩක් සරල කරල
user friendly උනොත් නරකද…
again maxaa….
අම්මට උඩු හෙන සිරා. මම නම් එක පාරක් ගඟක පාරුවක ගිහිල්ල පෙරලුනා.